බඩගිනි වෙලා මා ගිය කළ පුතුගේ ගෙට
මැනලා දුන්නා වී ටිකක් මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට
මේ කවිය අසන විට හැමෝටම තම සිහියට නැගෙන්නේ තමාගේ දුක් ගැහැට දරා ගැනීමට නොහැකිව අසරණ වු මවක් තමන්ගේ පුතනුවන් හමුවීමට ගිය අවස්ථාවේ, තම පුතා විසින් වී ටිකක් මල්ලකට දමා මවට ලබා දුන් ඉතාමත් දුක්බර සිදුවීම යි.
ඈත අතීතයේම තම දෙමව්පියන්ව ආදරයෙන් බලා ගැනීමට නොහැකි වූ අය සිටියේ නම්, තාක්ෂණයෙන් උසස් තත්ත්වයක් උසුලමින් කාර්යය බහුල සමාජයක සිටින වත්මන් පරපුර කුමක් කරයි ද? ඉස්සර නම් සැමියා රැකියාට ගොස් පැමිණෙන තුරු බිරිද ගෙදර වැඩ කරලා, තමාගේ හා තමාගේ සැමියාගේ දෙමව්පියන්ට උදව් උපකාර කර දෙමින්, ඉතා අලංකාරව තම කාලය ගත කළ සමාජක් අපට දකින්ට ලැබුණි.
නමුත් වත්මනයේ ඇති වී ඇත්තේ ඉතාමත් දුක්බර සිදුවීමකි. සැමියා හා බිරිද රැකියාවට යන අතර ගෙදර සිටින දෙමව්පියන්ගේ කාර්යය වනුයේ තම දුවගේ පුතාගේ දරුවන් ව රැක බලා ගැනීම ය. නමුත් එම දරුවන් ද වැඩිවියට පත් වූ පසු මෙම දෙමවිපියන්ගේ ඉතිරි කාලය ගෙවීමට සිදු වන්නේ මහලු මඩම්වලය. නමුත් මෙයට හාත් පසින් වෙනස්ව කෙතරම් කාර්යය බහුල වුවත් තම දෙමව්පියන්ව නිසි ආකාරයෙන් බලා ගන්නා පිනවතුන් ද අද කාලයේ දෑකීමට හැක.
එනමුත් ලංකාවේ අධික වශයෙන් වැඩිහිටි නිවාසයන් සෑදීමට හේතුව කුමක් ද? සාදාචාර සම්පන්න අපගේ මේ මාතෘ භූමීයේ දෙමව්පියන් රැක බලා ගැනීමට දරුවන්ගේ හිගයක් ඇති වන්නේ කෙසේ ද? වත්මනයේ අපේ රටේ තත්ත්වය කුමක් ද?
අපි හැමෝම එක් කරුණක් දෙස හොදින් අවධානය කළ යුත්තන් වන්නෙමු. එනම් අපගේ කුඩා කාලයේ අපට කිසිම දෙයකින් අඩුවක් නොකර, අපගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පිදු අපගේ දෙමව්පියන්ට අප කළ යුත්තේ කුමක් ද? ඒ මහත් වූ උපකාරයට අපගේ දෙමව්පියන්ට අප විසින් කළ හැක්කේ කුමක් ද?
හැමෝම කියනවා මව්වරුන් තම ලේ කිරි කරලා අපට පෙව්වේ, පියවරුන් තම ලේ දහඩිය කරලා අපව හැදුවේ කියලා නමුත් එය කීයා පෑමෙන් කිසිම ඵලක් නොමැත. අපගේ දෙමව්පියන්ගේ උදාර සේවයට අප ඔවුන්ට කෙතරම් සේවයක් කළත් එය ඔවුන් අප හට කළ දේවල් වලට කිසිදා සමාන නොවේ. සෑම දහමකය කියා පාන විශේෂ වූ දෙයක් නම් දෙමව්පියන්ට සැලකීම ය. එය කෙතරම් වටිනවා ද යන්න මෙමගින් අපිට මනාවට පැහැදිලි වන කරුණ කි.

No comments:
Post a Comment